විශ්ලේෂණය

“ඉංගිරිය“ යනු ශ්‍රී ලංකාවෙහි පිහිටි දියුණු වෙමින් පවතින නගරයකි. මෙම නගරය බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබේ. බස්නාහිර පළාත සහ සබරගමුව පළා‍තෙහි මායිම අසල පිහිටි ඉංගිරිය නගරය, රත්නපුර-පානදුර, ඉංගිරිය-පාදුක්ක සහ ඉංගිරිය-බුලත්සිංහල මාර්ගයන් එකට එකතු වන මංසංධියකි. සෑම ජාතියක්ම නියෝජනය වන පරිදි, සිංහල 90%ක් , දෙමළ 9%ක්, සහ වෙනත් ජාතීන් 1%ක්ද ඉංගිරිය ප්‍රදේශයේ ජීවත් වේ. මෙයින් සිංහල සහ දෙමළ ජාතිකයන් වැඩි ප්‍රතිශතයක් ගන්නා අතර ප්‍රදේශය ඉතා සාමකාමී පරිසරයකි. 2001 වර්ශයේදී ඉංගිරිය ප්‍රදේශයේ ජනගහනය 45,726ක් වූ අතර 2011 වර්ශය වන විටදී එම අගය 53,287ක් දක්වා වැඩිවී තිබේ. මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 9204ක් වන අතර, පවුල් 13716 ක් පමණ මෙහි ජීවත් වේ. මෙම ජනතාව අතර බෞද්ධයන් 88%ක්ද, හිංදු බැතිමතුන් 9%ක්ද , ක්‍රිස්තියානි ආගමික බැතිමතුන් 2% ක් සහ වෙනත් ආගමි අදහන පිරිස 1%ක්ද වේ.

පිහිටීම

ඉංගිරිය නගරයට පිවිසීමට A8 රත්නපුර-පානදුර පාර (පානදුර සිට 33km , රත්නපුර සිට 35.8km), පාදුක්ක-ඉංගිරිය පාර (පාදුක්කේ සිට 16.80km, මීපේ සිට 18.20km) හෝ බුලත්සිංහල-ඉංගිරිය මාර්ගය (ඈගල්ඔය සිට 11km) භාවිතා කළයුතු වේ. ඉංගිරිය යනු කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම බස්නාහිර පළාතේ මායිමකි. ඉංගිරිය පසු කර රත්නපුර දෙසට යන විට හමුවන ඇල්ල ප්‍රදේශය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත්වන අතර ඉංගිරිය පසුකර පාදුක්ක දෙසට යන විට හමුවන පාදුක්ක ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයට අයත්වේ.

''ඉංගිරිය නගරයේ සිට යාබද නගර දක්වා දුර''
  • හොරණ - 13.50km
  • පාදුක්ක - 16.80km
  • මීපේ - 18.20km
  • ඉඩංගොඩ - 18km
  • පානදුර - 33km
  • රත්නපුර - 35.80km
  • අවිස්සාවේල්ල - 43km
  • කොළඹ - 51km
  • ඈගල්ඔය - 9km
  • කළුතර - 40km
  • ගැලනිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම - 20km

භූ විෂමතාවය

ඉංගිරිය ප්‍රදේශය දිවයිනේ බටහිර ‍මුහුදු සීමාවේ සිට කිලෝමීටර් 24 න් ආරම්භවී කිලෝමීටර් 8.8 ක් පමණ රට මැදට විහිදේ. සමස්ථයක් වශයෙන් කොට්ඨාසය පුරාම හුදකලා කඳු පිහිටා ඇති අතර නැගෙනහිර මායිමේ කඳුමය ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ඇත. කොට්ඨාසයේ උසම ස්ථානය ‍කොට්ටියාවත්ත ග්‍රාම නිලධාරී වසමේ පිහි‍ටි අඩි 1165 උස මඩකඩ ගිරංචි කන්දයි. මීට අමතරව ඇදුරගල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇදුරගල කන්ද අඩි 700 ට වඩා වැඩි උසකින් යුක්තවේ. තවද නැගෙනහිර අර්ධයේ තැනින් තැන අඩි 500 ට වඩා උස්වූ හුදකලා කඳු පිහිටා ඇති අතර බටහිර අර්ධයේ ද එවැනිම උස් හුදකලා කඳු දැකිය හැකි මුත් මුළු බිම් ප්‍රමාණයෙන් 60% ක් තැනිතලා ප්‍රදේශ වේ. කොට්ඨාසයේ දකුණු මායිම ඔස්සේ කළු ගඟ ගලා බසින අතර කලාපයේ විවිධ ප්‍රදේශයන් ගෙන් ගලා බසින ඇල මාර්ග ජාලයන් මෙම ගඟට එක්වේ. නැගෙනහිර අර්ධයෙන් නම්බපාන ඉංගිරිය ඇළ මාර්ගයද කොට්ඨාසයේ විශාලම ඇළ මාර්ගය වන මාවක්ඔය උතුරින් පටන් ගෙන බටහිර දිශාගතව ගලාවිත් දකුණු මායිම් ගතව කළු ගඟට එක් වේ.

කෘෂි කර්මාන්තය

ඉංගිරිය ප්‍රදේශය පහතරට තෙත් කෘෂි කාර්මික කලාපයට අයත් වේ. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මි.ලී. 4200 ක් පමණ වේ. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 – 75 පමණ වේ. ඉංගිරිය ප්‍රදේශයට නිරිත දිග මෝසම් මෙන්ම ඊසාන දිග මෝසම් මගින්ද වර්ෂාපතනය ලැබේ. වර්ෂය පුරාම වර්ෂාව ලැබෙන නිසා කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණයක් පවතී. සියලුම වාණිජ බෝග, තේ, පොල්, රබර් සහ වී මෙහි වවනු ලබයි. 2009 වර්ෂයේ වාර්තාවලට අනුව රබර් අක්කර 5039ක්ද, තේ අක්කර 1569ක්ද, පොල් අක්කර 1500ක් සහ වී කුඹුරු අක්කර 22ක්ද ඉංගිරිය භූමි ප්‍රදේශයේ වගාකර ඇත.

පරි පාලනය

හොරණ මැතිවරණ කොට්ඨාසයට අයත් ඉංගිරිය නගරය හොරණ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වෙයි. ඉංගිරිය නගරයේ ප්‍රධාන රජයේ ආයතන කිහිපයක් ඇත:

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරියේ ඇති ප්‍රධාන පරිපාලන ආයතනයයි. 2000 වසර තෙක් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ මෙම ප්‍රදේශය එම වසරේ අගෝස්තු මස 14 දින, ග්‍රාම නිලධාරී වසම් 31ක් වෙන් කර ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වශයෙන් නම් කරන ලදී. හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශයක් වශයෙන් විශාලවීමත් ජනගහනයේ සීඝ්‍ර වර්ධනය නිසාත් කොට්ඨාසයේ පරිපාලනමය පහසුව හා ජනතාවගේ පහසුව තකා මෙසේ මෙම කලාපය බෙදා වෙන් කරනලදී.

ඉංගිරිය පොලිස් ස්ථානය

ඉංගිරිය ප්‍රදේශයේ ආරක්ෂාවට ඍජුව දායක වන ඉංගිරිය පොලිස් ස්ථානය වර්ෂ 1948දී පිහිටුවා ඇත.

ඉංගිරිය දිසා රෝහල

ඉංගිරිය ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන් සැපයීම ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හා ඉංගිරිය දිස්ත්‍රික් රෝහලෙන් සිදු කරනු ලබයි. මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් රෝග වැලැක්වීමේ කටයුතු ද, දිස්ත්‍රික් රෝහලෙන් රෝග සදහා ප්‍රතිකාර කිරීමද සිදු කරනු ලබයි.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

ප්‍රදේශයේ ප්‍රධාන රෝග වැලැක්වීමේ පොදු මධ්‍යස්ථතානය ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වන අතර හොරණ මාර්ගයේ එය පිහිටා ඇත.

ඉංගිරිය තැපැල් කාර්යාලය

ඉංගිරිය නගර මධ්‍යයේ ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටුවා ඇත. මෙය පළමු වන ශ්‍රේණියේ කාර්යාලයකි. මෙයට අමතරව ඇති උප තැපැල් කාර්යාල ප්‍රෙද්ශය අවට ස්ථාන වල පිහිටා ඇත.

ඉංගිරිය සමූපාකාර සේවය

ඉංගිරිය සමූපාකාර සේවා කාර්යාලය මගින් පාලනය කරනු ලබන ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හල ඉංගිරිය නගර මධ්‍යෙය් පිහිටා ඇති අතර තවත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් දෙකක් හඳපාන්ගොඩ හා ඇදුරුගල ප්‍රදේශයේ පිහිටා ඇත.

ගමනාගමනය

ඉංගිරිය නගරය A8 රත්නපුර-පානදුර මාර්ගය ඔස්සේ පිහිටා ඇත. මෙම මාර්ගයට පාදුක්ක-ඉංගිරිය මාර්ගය ඉංගිරිය මංසංධියේදී එකතුවේ. තවද බුලත්සිංහල-හොරණ මාර්ගයේ පිහිටා ඇති ඈගල්ඔය නගරයේ සිට ඉංගිරිය දක්වා දිවෙන අප්‍රසිද්ධ මාර්ගයක්ද ඇත. ඉංගිරියට ලඟාවීමට කුම 3කි. ඒවානම්, රත්නපුර-පානදුර මාර්ගය, හංවැල්ලෙන් සහ පාදුක්කෙන් ආරම්භවන ඉංගිරිය මාර්ගය සහ ඈගල්ඔයෙන් ආරම්භවන ඉංගිරිය මාර්ගයි. ඉංගිරිය නගරයේ බස් නැවතුම්පොලවල් දෙකක් ඇත. රත්නපුර-පානදුර මර්ගය ඔස්සේ ගමන්ගන්නා සියලුම බස් රථ එම මාර්ගයේ පිහිටා ඇති නව බස් නැවතුම්පොලේ ගාල් කරයි. අනෙකුත් සියලුම බස් රථ පාදුක්ක මාර්ගයේ පිහිටා ඇති පැරණි බස් නැවතුම්පොලේ ගාල් කරනු ලබයි.

ඉංගිරියෙන් ගමන් ආරම්භ කරන බස් රථ
  • 449 - හොරණ-ඉංගිරිය
  • 285 - බුලත්සිංහල-ඉංගිරිය (ඈගල්ඔය හරහා)
  • 125 - මහරගම-ඉංගිරිය
  • 125 - පිටකොටුව-ඉංගිරිය (ගොඩගම හරහා)
  • 686 - කීනගහවිල-ඉංගිරිය (නාච්චිමලේ හරහා)
  • 885 - දුම්බර-ඉංගිරිය
  • 491 - රත්නපුර-ඉංගිරිය
  • 885 - ගවරගිරිය-ඉංගිරිය
  • - මාතලේ-ඉංගිරිය
ඉංගිරිය හරහා ගමන් කරන බස්
  • 450 - රත්නපුර-පානදුර
  • 449 - කරඳන-හොරණ
  • 064 - පානදුර-මහියංගනය
  • 064 - පානදුර-බදුල්ල
  • 064 - පානදුර-අම්පාර
  • 064 - අළුත්ගම-බලංගොඩ
  • 457 - ඇඹිලිපිටිය-සූරියවැව
  • 120 - කලවාන-කොළඹ
  • 473 - කලවාන-හොරණ
  • 190 - බුලත්සිංහල-පිටකොටුව

History

සුන්දර දියදහරා, කඳුහෙල්, තැනිතලා හා මිටියාවත් යන සියලු භූවිෂමතාවන්ගෙන් සැදුම්ලත් ඉතා සුන්දර වූත්, රමණීය වූත්, භූමි ප්‍රදේශයක් ලෙස ඉංගිරිය ප්‍රදේශය හැඳින්විය හැකිය. සිව් මහා ගංගාවන්ගෙන් එකක් වන කළු නදිය සබරගමු දිසාවනියේ සිට කළුතර තෙක් ගලා බසින්නේ මේ සුන්දර නගරයද පසුකරමිනි. එසේම සබරගමු කඳුවැටි වල ඉම, ඉංගිරිය ප්‍රදේශයෙන් අවසන් වන බැවින් ‘ඉමගිර’ ඉංගිරිය වශයෙන් බිඳීවිත් ඉංගිරිය යන නම ලැබුණු බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන ඉංගිරිය නගරය සුදු අධිරාජ්‍යවාදීන්ගේ වතු වගා ආරම්භයේ බිහිවූ නගරයක් ලෙස සඳහන් කළ හැකි අතර ඉංගිරියට තදාසන්නව පිහිටි ඌරුගල හා නම්බපාන ග්‍රාමයන් කළු නදී මිටියාවත ආසන්නයේ පිහිටි සිංහල රජ සමයට නෑකම් කියන ගම් දෙකක් බවද සඳහන් කළ හැකිය.

ඓතිහාසික වශයෙන් වැදගත් වන ඉතාමත් සුන්දර පරිසරයකට නෑකම් කියන මේ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන, ආරණ්‍ය සේනාසනද රාශියක් තිබේ. ඒ අතර වතු කේන්ද්‍ර‍කොට ගත් හින්දු ආගමික ද්‍රවිඩ ජනතාවක්ද ඉතා සුළු වශයෙන් ජිවත් වන අතර හින්දු ආගම ඇදහීමට හින්දු කෝවිල් කිහිපයක්ද, ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක්ද පිහිටා ඇත. මේ අනුව මෙම ප්‍රදේශයේ විවිධ ජාතීන්ට අයත් හා විවිධ ආගම් අදහන ජනතාවක් වාසය කරන බවට කරුණු සඳහන් කළ හැකිය. ඔවුන් ප්‍රදේශයේ දියුණුව නිරතුරුවම අපේක්ෂා කරන දෑ හිතකාමී පිරිසකි.

ඉංගිරිය ප්‍රදේශයේ ඉතිහාසය දෙස නෙත් යොමුකළ විට පෙනී යන තවත් කරුණක් නම් මෙම ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජනතාව ජීවත් වූ බවට පැරණි ලේඛණගත සාක්ෂි වලින් හෙලිවන බවයි. එනම් පෘතුගීසීන් විසින් වර්ෂ 1599දී තබන ලද ඔවුන්ගේ ආදායම් වාර්තාවක මුණගම, වගවත්ත, කැකුළදොල ආදී ස්ථාන වලින් ලබාගත් බදු පිළිබඳ සටහන් වීමෙන් එය සටහන් වන බවයි. වර්තමානයේදී පෝරුවදණ්ඩ ගම හරහා දිවෙන රත්නපුර, පානදුර මාර්ග අදින් වසර 186කට පමණ පෙර සිටම භාවිතා වූ මාර්ගයක් බවට සාධක හමුවී තිබේ. එනම් “ජෝන් ඩේව්” නම් ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වර්ෂ 1817දි පානදුරේ සිට හොරණ, රත්නපුර, පලාබද්දල හරහා සිරිපා කන්ද තරණය කර ඇති බව සටහන් වීමෙන් මෙය සනාථ කර ගත හැකිය.

TOP

ඉංගිරිය යනු ශ්‍රී ලංකාවෙහි පිහිටි දියුණු වෙමින් පවතින නගරයකි. මෙම නගරය බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබේ. බස්නාහිර පළාත සහ සබරගමුව පළා‍තෙහි මායිම අසල පිහිටි ඉංගිරිය නගරය, රත්නපුර-පානදුර, ඉංගිරිය-පාදුක්ක සහ ඉංගිරිය-බුලත්සිංහල මාර්ගයන් එකට එකතු වන මංසංධියකි.

නාච්චිමලේ, පරෙයි තොට, මඩකඩ ආරණ්‍යය සේනාසනය, බෝධිනාගල ආරණ්‍යය සේනාසනය ඉංගිරිය නගරයේ ඇති ප්‍රසිද්ධ ස්ථාන වේ.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉංගිරිය පොලිස් ස්ථානය, ඉංගිරිය දිසා රෝහල, ඉංගිරිය සෞඛ්‍යය කාර්යාලය, ඉංගිරිය තැපැල් කන්තෝරුව, ඉංගිරිය බැංකු සහ ඉංගිරිය පාසැල් ඉංගිරිය නගරයේ ප්‍රධාන පරිපාලන ස්ථානයි.

ඉංගිරිය තැපැල් කාර්යාල අංකය 12440. ඉංගිරිය දුරකථන කෝඩය 03422. ඉංගිරිය හෝටල් සංචාරකයන් අතර ප්‍රසිද්ධ වේ. ඉංගිරිය සිතියම ගූගල් සිතියම් ආදාරයෙන් නැරඹිය හැක.