ස්වභාවික සෞන්දර්යය

ඉංගිරිය ප්‍රදේශයේ සංචාරකයින්ගේ අවධානයට යොමු වන ස්ථාන වන්නේ පහත ස්ථානයන්ය.

  • නාච්චිමලේ නාන තොටුපළ - ඉංගිරිය
  • මඩකඩ ආරණ්‍ය සේනාසනය - ඉංගිරිය
  • පරෙයිතොට නාන තොටුපළ - නම්බපාන
  • බෝධිනාගල ආරණ්‍ය සේනාසනය සහ කුරුළු රක්ෂිතය - ඇදුරාගල
  • හොරකැලේ රක්ෂිතය - කිරිගල

නාච්චිමලේ

නාච්චිමලේ යනු ඉංගිරිය ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධම ස්ථානයයි. මෙම ස්ථානය නාච්චිමලේ දොළේ (නම්බපාන ඇළේ) ඉතාමත් සුන්දර නාන තොටුපොලකි. ඉංගිරිය නගරයේ සිට පාදුක්ක (කොළඹ) මාර්ගයේ සැත. 1ක් පමණ ගොස් මහ ඉංගිරිය මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කීනගහවිල මාර්ගයේ සැ.1 ½ ගොස් මඩකඩ ආරණ්‍ය සේනාසනය පාර පසුකළ විට මෙම ස්ථානයට ළඟාවිය හැක. මෙය ඉතාමත් සුන්දර දිය ඇළි වලින් ගහන තැන තැන පැහැදිලි වතුරෙන් පිරි ගල් කටාරම් සහිත අති සුන්දර දොළ පහරකි. මෙම දිය පහර වල දිය නා සතුටුවීම සදහා දිනපතා දහස් ගණන් දේශීය විදේශීය සංචාරකයින් පැමිණෙයි. සංචාරකයන් වැඩි පිරිසක් මෙම ස්ථානයට පැමිණීම සතුටට කාරණයක් වුවද, මෙහි දුක්බර පැතිකඩයක්ද තිබේ. එනම් ඉංගිරිය ප්‍රදේශයේ වැඩිම පරිසර හානියක් සිදුවන ප්‍රෙද්ශය මෙය වීමයි. දිනෙන් දින පැමිණෙන සංචාරකයන් ගනන ඉහල යනවාට සමගාමීව පරිසරයට වන හානියද දිනෙන් දින ඉහල යයි. මෙම ස්ථානය පුරා බොහෝවිට බෝතල්, පොලිතීන් තැන තැන දමා තිබීම සාමාන්‍ය දසුනක් බවට පත්වී ඇත. මෙම තත්වය ප්‍රදේශයේ පදිංචිකරුවන්ට මෙන්ම පරිසරයටද බරපතල ගැටළුවක් වී ඇත. විවිධ කාල වකවානු වලදී ඉංගිරිය පොලීසිය ඇතුළු බොහෝ ස්වේච්ඡා සංවිධාන මෙම ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් දියත් කරයි.

පරෙයිතොට

පරෙවිතොට හෝ පරේතොට යනු ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයකි. ඉංගිරිය නගරයේ සිට රත්නපුර මාර්ගයේ සැතපුම් 1ක් ගොස් වමට ඇති නම්බපාන පාසැල් මාවතේ සැතපුම් ½ක් ගිය තැන මෙම ස්ථානය හමු වේ. නම්බපාන ඇලේ පිහිටි විශාල තැන තොටුපළක් වන මෙම ස්ථානය සුන්දර බවින් පිරිපුන් තැනකි. ඒ ආශ්‍රිතව පිහිටා ඇති පරිසරයද ඉතාමත් අලංකාර වන බැවින් මෙම ස්ථානයට දිය නෑමට පැමිණෙන සංචාරක පිරිස බොහෝය. තවද මෙම තොටුපළට යාබදව ඇල මාර්ගයේ පිහිටා ඇති කුඩා ඇල මාර්ගයේ පිහිටා ඇති කුඩා තොටුපළවල හා දිය ඇලිවලින් මෙම ස්ථානය තවත් අලංකාර වේ. එහෙත් දිනපතා මෙම ස්ථානයේ දිය නෑමට හා විනෝදයට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් මෙම සුන්දර පරිසරයට විනාශය සුළු පටු නොවේ. ඔවුන් විසින් රැගෙන එන පොලිතින් උර හා බෝතල් බිද තැන තැන දැමීමෙන් විශාල ලෙස පරිසරය අපවිත කරති. මෙම අනතුරු දායක තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම සංචාරක පිරිස්වලටද මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් පාරිසරික බලධාරීන්ගේ අවදානය මෙම ප්‍රදේශය වෙත යොමු කිරීමට කාලය එළඹ ඇත.

මඩකඩ ආරණ්‍ය සේනාසනය

ඉංගිරිය නගරයේ සිට පාදුක්ක (කොළඹ) මාර්ගයේ සැතපුම් 1ක් පමණ ගොස් මහ ඉංගිරිය මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කීනගහවිල මාර්ගයේ සැතපුම් 1 ½ ගිය තැන මෙම ආරණ්‍ය සේනාසනය හමු වේ. මෙම ආරණ්‍යයේ ආරම්භය 1940 දශකය දක්වා දිව යන අතර එකී කාලයේ සිට මේ දක්වා එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය සියගණන ඉක්මවයි. මෙම නව ආරණ්‍ය සේනාසනය වර්ෂ 1948දී පූජ්‍ය රංවල සද්ධාතිස්ස හිමියන් විසින් ආරම්භකර ඇත. ඈත අතීතයේදී වනාන්තරයෙන් වැසුණු ගල් ලෙන් පිහිටා තිබූ මෙම ප්‍රදේශය, භාවනාව සඳහා සද්ධාතිස්ස හිමියන්ගේ පැමිණීමෙන් පසු වනගත ආරණ්‍යයක් වී ඇත. මඩකඩ ආරණ්‍ය යනු ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම විපස්සනා භාවනා මධ්‍යස්ථානයකි. මෙම ස්ථානයේ ශාඛා නාවින්න, සාලගල ඇතුළු තවත් ස්ථාන කිහිපයක පිහිටා ඇත. ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට ආගමික දියුණුව උදෙසා මෙම මධ්‍යස්ථානයෙන් ලැබෙන රුකුල මිලකළ නොහැක. වර්තමානයේ නේවාසික භාවනායොගී භික්ෂූන් වහන්සේලා 16ක් සහ නේවාසික භාවනායෝගී ගිහියන් විසින් විපස්සනා භාවනාව ප්‍රගුණ කරනු ලබයි. බෞද්ධ දර්ශනයට අනුව යමින් භාවනායෝගීන්ගේ උපස්ථාන කටයුතු සියල්ල සැදැහැවතුන් විසින් නොපිරිහෙලා ඉටුකරනු ලැබේ. එහි ප්‍රධාන ගල් ලෙන තුළ බුද්ධ ප්‍රතිමාවන් ඇතුළු ආකර්ෂණීය සිතුවම් හා මල් වලින් සැරසී ඇති අතර ඒ හා ආසනයට භාවනා කුටි 12 – 15 අතර ප්‍රමාණයක් පිහිටා ඇත. මෙකී ආරණ‍්‍යයේ භික්ෂූන් වහන්සේලා 15 -20ත් අතර ප්‍රමාණයක් භාවනා යෝගීව වැඩ සිටිති. රක්ෂිත වන ගත පෙදෙසක පිහිටා ඇති මෙම ස්ථානය වටා ගලා බසින නාච්චිමලේ දොළ (නම්බපාන ඇළ) ඉතාමත් සුන්දර දොළ පහරකි. මෙම දිය පහර වල දිය නෑම සදහා දිනපතා දහස් ගණන් දේශීය විදේශීය සංචාරකයින් පැමිණෙන අතර ඔවුහූ ආරණ්‍ය සේනාසනය නැරඹීමටද අමතක නොකරති. තවද මෙම ආරණ්‍ය අයත් කලාපය ඉතා සන්සුන් ප්‍රදේශයක් වන අතර ආවේණික වෘක්ෂලතා දේශීය ඖෂධ පැළ පක්ෂීන්, දුර්ලභ සමනළ වර්ග, වන සතුන් හා සත්‍ය විශේෂයන්ගෙන්ද ගහණ ඉතා සුන්දර පෙදෙසකි.

බෝධිනාගල ආරණ්‍ය සේනාසනය සහ කුරුළු රක්ෂිතය

ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ සැතපුම් 2 ¼ ගිය තැන බෝධිනාගල මංසංධියෙන් වම් අතට හැරී පාරේ සැතපුම් 1 ½ විට මෙම ආරණ්‍ය සේනාසනය හමු වේ. 1955 වසරේ ඇරඹී දොඹගස් කන්ද රක්ෂිත වනාන්තරය තුළ පිහිටා ඇති මෙම රමණීය පුද බිම ඉතාමත් සුන්දර පරිසරයක් තුළ පිහිටි ශාන්ත බිම් කඩකි. මෙහි මනරම් වන පියස දකුණු, ගිණිකොන දෙසින් සුන්දර වූ කළු ගංගාව ගලා බසින අතර එකී දකුණු, ගිණිකොන කලාපයද බෑවුම් සහිත ඖෂධ පැල හා ප්‍රදේශයට ආවේණික පහතරට තෙත් කලාපීය ශාඛයන්ගෙන් ගහණ ප්‍රදේශයකි. මෙම ආරණ්‍ය සේනාසනය තුළ තැනින් තැන පිහිටි ලෙන් තුළ භාවනානු යෝගීව වැඩවසන භික්ෂූන් වහන්සේලා 20 – 25 පමණ වැඩ සිටින අතර උන්වහන්සේලා දානය පිළිගන්නා අවස්ථාවෙහි දී පමණක් කුටි වලින් පිටතට පැමිණ නැවත වන ගත කුටි වලට පිටත්ව යති. ඉතාමත් ශාන්ත හා දැඩි ආරක්ෂිත භූමි ප්‍රදේශයක් වන මෙම වනගත සේනාසනය නැරඹීමටද දේශීය විදේශීය විශාල වශයෙන් පැමිණෙමින් පවතී.

මෙය දෙවන කලාපීය පහත්බිම් වැසි වනාන්තර ගනයට අයත්වේ. ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ සැතපුම් 2 ¼ ගිය තැන බෝධිනාගල මංසංධියෙන් වම් අතට හැරී පාරේ සැතපුම් 1 ½ ක් පමණ ගමන් කර නැවත වමට හැරී මද දුරක් ගමන් කරනවිට විට මෙම අඩවි සීමාවට ඇතුළු වීමට ඔබට හැකිය. බෝධිනාගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේද මෙම අඩවිය තුළයි. ප්‍රදේශය පුරා පිහිටා ඇති මාර්ග විස්තර පුවරු නිසා මෙම අඩවියට ළඟාවීම දුෂ්කර නැත. ගම්මාන වලින් වටවුන කඳු දෙකකින් මෙම වන රක්ෂිතය සමන්විත වන අතර ආරණ්‍යයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලාගේ පහසුව පිණිස රක්ෂිතය තුල කොන්ක්‍රීට් පාරවල් තනා ඇත. භාවනායෝගී භික්ෂූන් වහන්සේලා හමුවීමට වෙන්වූ වේලාවන් තිබුණද මෙම පරිසරය නැරඹීමි එන පිරිස නිසා මෙම නිශ්ෂබ්ධ පරිසරයට හිරිහැර නොවනවාම නොවේ.

හොරකැලේ රක්ෂිතය

ඉංගිරිය හඳපාන්ගොඩ මාර්ගයේ සැතපුම් 6ක් පමණ ගිය විට හමුවන මෙම ස්ථානය පරිසර සංවේදී තැනකි. දකුණු ආසියාවේ වැඩිම හොර ගස් මෙම භූමියේ ඇති බව සදහන් වේ. ඉතා දැකුම්කළු ස්ථානයකි. මීට අමතරව තවත් දුර්ලභ ශාක මෙම රක්ෂිතය තුළ ඇත.

TOP

ඉංගිරිය යනු ශ්‍රී ලංකාවෙහි පිහිටි දියුණු වෙමින් පවතින නගරයකි. මෙම නගරය බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබේ. බස්නාහිර පළාත සහ සබරගමුව පළා‍තෙහි මායිම අසල පිහිටි ඉංගිරිය නගරය, රත්නපුර-පානදුර, ඉංගිරිය-පාදුක්ක සහ ඉංගිරිය-බුලත්සිංහල මාර්ගයන් එකට එකතු වන මංසංධියකි.

නාච්චිමලේ, පරෙයි තොට, මඩකඩ ආරණ්‍යය සේනාසනය, බෝධිනාගල ආරණ්‍යය සේනාසනය ඉංගිරිය නගරයේ ඇති ප්‍රසිද්ධ ස්ථාන වේ.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉංගිරිය පොලිස් ස්ථානය, ඉංගිරිය දිසා රෝහල, ඉංගිරිය සෞඛ්‍යය කාර්යාලය, ඉංගිරිය තැපැල් කන්තෝරුව, ඉංගිරිය බැංකු සහ ඉංගිරිය පාසැල් ඉංගිරිය නගරයේ ප්‍රධාන පරිපාලන ස්ථානයි.

ඉංගිරිය තැපැල් කාර්යාල අංකය 12440. ඉංගිරිය දුරකථන කෝඩය 03422. ඉංගිරිය හෝටල් සංචාරකයන් අතර ප්‍රසිද්ධ වේ. ඉංගිරිය සිතියම ගූගල් සිතියම් ආදාරයෙන් නැරඹිය හැක.